Tuesday, October 4, 2011

සුන්දර නුවරඑළි‍ය

ඉකුත් සතිඅන්තයේ මට නුවරඑළි‍යේ සංචාරය කිරීමට අවස්ථාව ලැබුනා. මේ එම සංචාරය තුලින් මම සොයාගත් තොරතුරු කීපයක්.
මුහුදු මට්ටමේ සිට අඩි6128ක් උස නුවරඑළි‍ය නගරය 19වන සියවසේදී 'සැමුවෙල් බේකර්' විසින් සොයාගත්තායැයි සැලකෙනවා. රාම රාවණා කථාපුවතට අනුව හනුමා විසින් ගිනිතබා ඇත්තේ නුවරඑළි‍යයි. ඒ ගින්නෙන් හටගත් ආලෝකය නිසා 'නුවර' + 'එළි‍ය' යන පද සන්ධිවීමෙන් 'නුවරඑළි‍ය' සෑදුනු බවයි ජනප්‍රවාදයේ පැවසෙන්නේ.



නුවරඑළි‍ය හා ඒ අවට වැදගත් සංචාරක ස්ථාන රාශියක් දක්නට ලැබෙනවා. එම ස්ථාන වලින් කීපයක් ගැන මම සොයාගත් කරුණු කෙටියෙන් දක්වන්නම්.


කොළඹ සිට නුවරඑළි‍යට පිවිසිය හැකි ප්‍රධාන මාර්ග 2ක් තියෙනවා.
ගම්පොල හරහා
කිලෝමීටර් 170ක් පමන වන මෙම මාර්ගයේ යන්නේ නම්, A1 මාර්ගය ඔස්සේ කැළණිය, කිරිබත්ගොඩ, යක්කල, නිට්ටඹුව, නෙලුම්දෙණිය, කෑගල්ල හා කඩුගන්නාව වැනි නගර පසුකොට පේරාදෙණියට පැමිනියයුතු වෙනවා. එතැන් සිට නුවරඑළි‍යට දුර කිලෝමීටර 68ක්. පේරාදෙණියේ සිට A5 මාර්ගය ඔස්සේ ගෙලිඔය, වැලිගල්ල, කහටපිටිය පසුකර ගම්පොලට පැමිණිය යුතුයි. දැන් ඔබ සිටින්නේ නුවරඑළි‍යට කිලෝමීටර 53ක් දුරින්. එතැන්සිට අටබාගේ, දෙල්පිටිය, පුස්සැල්ලාව, කොත්මලේ, රම්බොඩ පසු කරමින් නුවරඑළි‍යට ලඟාවිය හැකියි.


හැටන් හරහා
කිලෝමීටර් 160ක් පමන වන මෙම මාර්ගයේ යන්නේ නම්, A4 මාර්ගය ඔස්සේ හෝමාගම, කලුඅග්ගල, කොස්ගම, පුවක්පිටිය වැනි නගර පසුකොට අවිස්සාවේල්ලට පැමිණියයුතුයි. (කඩුවෙල හරහාත් අවිස්සාවේල්ලට පැමිනිය හැකියි. සිතියමේ එම මාර්ගයත් දක්වා ඇත.) එතැන්සිට A7 මාර්ගය ඔස්සේ තල්දූව, දෙහිඕවිට, යටියන්තොට, කිතුල්ගල, කලුගල, ගිනිගත්හේන, වටවල හරහා හැටන් දක්වාත් හැටන් සිට තලවකැලේ, ලිදුල හා නානුඔය ඔස්සේත් නුවරඑළි‍යට ලඟාවිය හැකියි. කිවයුතු වැදගත් කරුණ වන්නේ හැටන් සිට නුවරඑළි‍ය තෙක් මාර්ගය ඉතා අබලන් හා දුෂ්කර එකක් බවයි. 

දුම්රියෙන් ගමන්කරනවා නම්, නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස එතැන් සිට කිලෝමීටර් 4ක පමන දුරක් බසයෙන් ආ යුතුයි. 1948න් පසු නුවරඑළි‍ය නගරය දක්වා දුම්රිය ධාවනයක් සිදුවන්නේ නෑ. එදා නුවරඑළි‍ය දුම්රියපල පිහිටි තැන අද දක්නට ඇත්තේ බස් නැවතුම්පොලයි.


අවශ්‍ය නම් ඔබට ගම්පොල හරහා නුවරඑළි‍යට ගොස් ආපසු පැමිණීමේදී හැටන් හරහා පැමිණිය හැකියි. මා ‍තෝරාගත්තේත් ඒ ගමන් මාර්ගයයි. 


පුස්සැල්ලාව, කොත්මලේ හරහා සුන්දර පරිසරයක අසිරිය විඳිමින් ගමන්කරන ඔබට  රම්බොඩ උමඟ හමුවනවා. එතැන් සිට මඳක් දුරින් පිහිටා ඇත්තේ රම්බොඩ ඇල්ලයි. 
මේ දැක්වෙන්නේ A5 මාර්ගයේ සිට රම්බොඩ ඇල්ල දිස්වෙන ආකාරයයි.
ලංකාවේ උසම නගරය (ශාන්තිපුර)


නුවරඑළි‍යට 1KMක් පමණ මෑතකින් ඔබට බඹරකැලේ ගම්මානය  හමුවෙනවා.  එතැන්සිට දකුණු අත පැත්තෙන් ශාන්තිපුර දක්වා යන මාර්ගය පටන් ගන්නවා. බඹරකැලේ ගම්මානය පසු කරමින් කිලෝමීටර් 2 1/2ක පමණ ගමනකින් පසු ශාන්තිපුරයට ළඟාවිය හැකියි. අඩි 7430ක් උස ශාන්තිපුර සැලකෙන්නේ ලංකාවේ උසම නගරය ලෙසයි.  ශාන්තිපුර, කලාපුර නම් ස්ථානයේ නුවරඑළි‍ය නැරඹුම් කුටියක් ඉදිකර තිබෙනවා.  අවශ්‍යනම් ඔබට එහිසිට උණුසුම් තේ හෝ කෝපි කෝප්පයක රස විදිමින්  ඈතින් පෙනෙන නුවරඑළි‍ය නගරය නැරඹිය හැකියි. එහි සිට ඔබ දකින්නේ ඉතා මනස්කාන්ත දර්ශනයක්. පහත  ඡායාරූපයේ දකුණු මැද කෙලවරේ කුඩාවට පෙනෙන්නේ ග්‍රෙගරි ඔයයි.



නුවරඑළි‍ය නගරයට ආසන්නයෙන්ම පිහිටි  වෙනත් ආකර්ශනීය ස්ථාන වන්නේ ග්‍රෙගරි ඔය, ගොල්ෆ් පිටිය සහ වික්ටෝරියා උද්‍යානයයි. 


ග්‍රෙගරි ඔය
නානු ඔයෙන් පෝෂණය වන ග්‍රෙගරි ඔය එවකට දැනටත් වඩා විශාල ප්‍රදේශයක පැතිර තිබුනා. ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා(1872-1877) විසින් එහි කොටසක් ගොඩකර රේස් පිටියක් සාදා ඉතිරි කොටසට තම නම යොදා තිබෙනවා. මෑතකදී රජය විසින් ආරම්භකල seaplane සේවාවේ එක් ගමනාන්තයක් වන්නේ ග්‍රෙගරි ඔයයි.
ග්‍රෙගරි වැව ඉස්මත්තේ සුන්දරත්වය රසවිඳින ඔබ බෝට්‍ටු සවාරියක් යාමට නම් අමතක නොකල යුතුයි. 10කුට යාමට හැකි බෝට්‍ටුවක එක ගමන්වාරයකට රු.800/-ක මුදලක් අයකරනු ලබනවා.


වික්ටෝරියා උද්‍යානය
1888 දී විලියම් කොක් විසින් ආරම්භකල මෙය අක්කර 24ක් පුරා පැතිරුනු රමණීය උද්‍යානයක්. නුවරඑළි‍ය නගර මධ්‍යයේ මෙය පිහිටා තිබෙනවා.


ගොල්ෆ් පිටිය
ගොල්ෆ් පිටිය කී සැනින් මතකයට නැගෙන්නේ එහි කෙලවරක පිහිටි  විලියම් රොජර්ගේ සොහොනයි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී නුවරඑළි‍ය ප්‍රදේශයේ විශාල අලි ගහනයක් පවතී තියෙනවා. එවකට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අලි ඝාතනය කිරීම විනෝද්‍යාංශයක් සහ තම ශක්තිය පෙන්වීමේ ක්‍රමයක් ලෙස සලකා තිබෙනවා. මේජර් විලියම් රොජර් යනු එසේ විශාල වශයෙන් අලි ඝාතනය කල අයෙක්. ඔහුගේ සොහොනට අදටත්, වසරක් පාසා අකුණු සැර වදින බව කියවෙනවා.


ඉහත දක්වා ඇත්තේ ඔබ නුවරඑළි‍යට යන පලමු දිනය තුල නැරඹියහැකි ස්ථානයි. ඉන්පසු නවාතැනට ගොස් ගමන්විඩාව නිවාගන්නා ලෙස මා යෝජනා කරනවා. නුවරඑළි‍ය අවට ඕනෑතරම් නවාතැන්පොලවල් සොයාගතහැකියි. ඔබ යන්නේ අප්‍රේල් හෝ දෙසැම්බර් නිවාඩු සමයේ නොවේනම්, නවාතැනක් සොයාගැනීම දුෂ්කර වන්නේ නෑ.


හග්ගල උද්භිද උද්‍යානය
මෙය නුවරඑළියට පැමිනෙන බොහෝ සංචාරකයන් අනිවාර්යයෙන් නැරඹීමට යන ස්ථානයක්. නුවරඑළිය-බදුල්ල මාර්ගයේ නුවරඑළියේ සිට කිලෝමීටර් 10ක් පමණ ගිය තැන හග්ගල උද්භිද උද්‍යානය හමුවෙනවා. 1861දී සිංකෝනා වගාව සඳහා ආරම්භකල හග්ගල උද්භිද උද්‍යානය අක්කර 68ක් පුරා පැතිර පවතිනවා. 
එය විශාලත්වයෙන් දෙවෙනිවන්නේ තවමත් ඉදිකෙරෙමින් පවතින අක්කර 300ක් වූ මිරිජ්ජවිල උද්භිද උද්‍යානයට සහ 1747දී ඇරඹි ලංකාවේ ප්‍රථම උද්භිද උද්‍යානය වන පේරාදෙණිය උද්භිද උද්‍යානයට (අක්කර 147) පමණයි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින අක්කර 62ක උද්‍යානයත්, ගම්පහ පිහිටි අක්කර 30ක උද්‍යානයත් හග්ගල උද්‍යානයට වඩා කුඩා වෙනවා.
උද්‍යානය තුලදී හද පාරන දර්ශන කීපයක් දකින්න ලැබුනා. කැළිකසල හා පොලිතීන් තැනතැන නොදමන ලෙස පැහැදිලිව සඳහන්ව තිබුනත්, සමහරක් කිසිඳු සැලකිල්ලක් නැතිව යෝගට් කෝප්ප, පොලිතීන් සහ බත්කොල තැන තැන දමාගොස් තිබුනා. ඒ බොහෝවිට දේශීය සංචාරකයින් වියහැකියි. පරිසරයේ සුන්දරත්වය විඳිමින් පරිසරය විනාශ කිරීම මට පෙනෙන්නේ ගසක අත්තක් උඩ හිඳ අත්ත සිඳීමට කරන උත්සාහයක් මෙනි.

සීතා කෝවිල
නුවරඑළියේ සිට හග්ගලට යන අතරමග සීතාඑළිය ප්‍රදේශයේ ඇති කුඩා කෝවිලකි. කෝවිල පි‍ටුපසින් ගලාබසිනා සීතා ඇල්ල මෙයට එක්කරන්නේ අමුතු සුන්දරත්වයකි. ඉතා වටිනා ඉතිහාස කතාවක් මෙම කෝවිල සමඟ බද්ධවී පවතී. ක්‍රි.පූ. 2554 සිට ක්‍රි.පූ. 2517 දක්වා ලංකාව පාලනය කලා යැයි සැලකෙන රාක්ෂ ගෝත්‍රික රාවණා රජු ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නැත. රාවණා විසින් රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තබාගත්තේ යැයි සැලකෙන්නේ සීතාඑළිය ප්‍රදේශයේය.


නුවරඑළිය සොයා ගත්තේයැයි සැලකෙන සැමුවෙල් බේකර් ගැන ලිපියේ මුල් කොටසේ සඳහන් කලා මතක ඇති. 1848දී ලංකාවට පැමිනි ඔහු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා නුවරඑළියේ වගා කටයුතු ආරම්භ කරන ලදී. එසේ පැමිනි ඉන්දීය වතුකම්කරුවන් විසින් මෙම සීතා කෝවිල ඉදිකලා යැයි කියවේ. මෙහිදී සීතා, රාම, ලක්ෂ්මණ, හනුමන් ආදීන් දේවත්වයෙන් සලකා වන්දනාමාන සිදුකරනු ලබයි. හාස්‍යජනක කරුණ වන්නේ එහි සිටින කපු මහතාගෙන් කෝවිලේ ඉතිහාසය පහදා දෙන ලෙස කී විට ලැබුණු පිලිතුරයි.
"කෝවිලක් මාතියා..ශීතා කෝවිල". කපුමහතා කෝවිල ගැන කීමට දැන සිටියේ එපමණකි.






නුවරඑළි‍ය සිට අඹේවෙල දක්වා වූ කිලෝමීටර් 18ක පමණ ගමනේදී රේන්දෙපොල ගම්මානය හමුවෙනවා. එම ගම්මානයේ 6350ක් උසින් පිහිටි අඩි  කන්දෙ ඇළ ජලාශය ලංකාවේ උසින්ම පිහිටි ජලාශය ලෙස සැලකෙනවා. කන්දෙ ඇළ රක්ෂිතය මීට සමගාමීව පිහිටාතිබෙනවා.




අවශ්‍යනම් අතරමගදී හමුවන මෙවන් ස්ථානයකින් ඔබට නැවුම් එලවලු ඉතා අඩුමිලට මිලදීගත හැකියි.


අඹේවෙල කිරි ගොවිපොල
නුවරඑළි‍ය සිට කිලෝමීටර් 15-18ක් පමණ ගිය තැන අඹේවෙල නගරය හමුවනවා. ඒ අසල ලංකාවේ විශාලතම කිරි ගොවිපලවල් දෙක දැකගත හැකිවනවා.  ඒ නවසීලන්ත හා අඹේවෙල ගොවිපොලවලුයි.
අඹේවෙල දුම්රියපල අසල මේ පුවරුව දක්නට ලැබෙනවා. (විශාල කර බලන්න
මෙහිදී ඔබ නැරඹීමට ‍තෝරාගතයුත්තේ නවසීලන්ත ගොවිපොලයි. අඹේවෙල ගොවිපොල නරඹන්නන්ට විවෘත වන්නේ නෑ.





අඹේවෙල ගොවිපල අවට පරිසරය ඉතා සුන්දරයි. බොහෝ ටෙලිනාට්‍ය හා චිත්‍රපට රූගතකිරීම් සඳහාත් මේ ප්‍රදේශය යොදාගනු ලබනවා. හරකුන් මෙන්ම සාවුන් හා එලුවන් වැනි සතුන්ද ඇතිකරනු ලබනවා. නිතර දකින්නට නොලැබෙන පට්ටි ගොනුන් මෙහිදී දක්නට ලැබෙනවා. Friesian වර්ගයට අයත් වන ඕලන්ද සම්භවයක් ඇති පට්ටි ගොනෙකුගේ සාමාන්‍ය බර කිලෝ 750-900ක් පමණ වන බව දැනගැනීමට ලැබුනා. අඹේවෙල ගොවිපල නරඹන ඔබ එහිදී නැවුම් කිරි කෝප්පයක රස බැලීමට අමතක කරන්න එපා.


හෝටන් ප්ලේස් (මහ එළිතැන්න)
මහ එළිතැන්න 1969න් පසු ස්වාභාවික රක්ෂිතයක් ලෙස නම්කර තිබෙනවා. අඹේවෙල සිට පට්ටිපොල හරහා මහ එළිතැන්නට ලඟාවිය හැකියි. පට්ටිපොල සිට කිලෝමීටර් 11ක පමණ දුරක් මහ එළිතැන්න දෙවෙනි දොර‍ටුව වෙත තිබෙනවා. එතැන් සිට බේකර්ස් ඇල්ල නරඹා ලෝකාන්තය වෙත යා හැකියි. එම දුර කිලෝමීටර් 9ක් පමණ වෙනවා.  ලෝකාන්තය පහල පිහිටා ඇත්තේ බලංගොඩ නිම්නයයි. වලාකුලු අවම දිනකදී නම් ඔබට බලංගොඩ නිම්නය දැකගැනීමට හැකියි. 


ඇඩිෂම් බංගලාව
ඔබේ නුවරඑළි‍ සංචාරයේදී නැරඹිය හැකි තවත් ස්ථානයක් වන්නේ ඇඩිෂම් බංගලාවයි. බදුල්ල පාරේ හපුතලෙන් හැරී ඔබට මෙම ස්ථානයට ලඟා විය හැකියි. ඔබ දැනගත යුතු වැදගත් කරුණ වන්නේ මෙය නැරඹීමට අවසර ඇත්තේ සෙනසුරාදා, ඉරිදා, පෝය සහ පාසැල් නිවාඩු දිනවලදී පමණක් වන බවයි. මෙය සාදා ඇත්තේ 1931 වර්ෂයේය. 1987දී නැවක සැඟවී ලංකාවට පලා ආ 17හැවරිදි තොමස් විල්ස්, තේ වගා කිරීමෙන් පෝසතෙකු වූ බව සඳහන්. එංගලන්තයෙන් අමුද්‍රව්‍ය හා ඉංජිනේරුවන්ද, ද.ඉන්දියාවෙන් ශ්‍රමිකයන්ද ගෙන්වාගෙන රු. ලක්ශයක වියදමින් මෙය සෑදූබව සඳහන්. මෙහි වහල ලීවලින් සාදා ඇති අතර hot water, heater, electricity වැනි පහසුකම්ද තිබූ බවද කියවෙනවා.1960 සිට ශාන්ත බෙනදික් තාපසාරාමය ලෙස හැඳින්වෙන මෙය වර්තමානයේ ක්‍රිස්තියානි පුහුණු මධ්‍යස්ථානයක් වනවා.


නුවරඑළි‍යේ සිට ආපසු ඒමට මා ‍තෝරාගත්තේ හැටන් මාර්ගයයි. නානුඔය හරහා හැටන් තෙක් මාර්ගය ඉතා දුෂ්කරයි. තලවකලේ ප්‍රදේශයේදී ඔබට තේ පර්යේෂනායතනය (The Tea Research Institute (TRI)) නැරඹීමට යා හැකියි. ඒ සඳහා එහි සේවය කරන ඔබ දන්නා කියන නිලධාරියෙකු සම්බන්ධකරගත හැකිනම් ඉතා අගෙයි. අපටනම් ඒ වාසනාව ලැබුනා. ලංකාවට තේ වගාව හඳුන්වාදුන්නේ ජේම්ස් ටේලර් බවත්, තේ වගාවට වැලදෙන අනේකවිද රෝග ගැනත්, තේ වර්ග හා තේ නිෂ්පාදනය කරන ආකාරය පිලිබඳවත් එහිදී ඔබට දැනගත හැකිය. පහත දැක්වෙන්නේ එහිදී මාගේ කැමරා කාචයේ සටහන් වූ ඡායාරූප කීපයක්. 


තේ පර්යේෂනායතනය නරඹා නැවත A7 මාර්ගයේ එන අතර මගදී ඔබට මනරම් දිය ඇලි දෙකක් දැකගතහැකි වෙනවා. මුලින්ම හමුවන්නේ සෙන් ක්ලෙයාන්ස් දිය ඇල්ලයි. (වම් පස ජායාරූපය). ඊට නුදුරින් ඩෙවෝන් දිය ඇල්ල දක්නට ලැබෙනවා. (දකුණු පස ජායාරූපය)

මීට අමතරව අවශ්‍යනම් ඔබට කොත්මලේ ප්‍රදේශයේදී ඔබට කොත්මලේ චීස් කම්හල නැරඹිය හැකියි. ඒ සඳහාත් එහි සේවය කරන නිලධාරියෙකු සම්බන්ධ කරගතයුතුයි. 
අතරමගදී හමුවන ගිනිගත්හෙන පොලීසියේ වහලය ගැනත් යමක් කියන්නම්. වම් පැත්තේ වහලයට වැටෙන වැසි ජලය එකතු වෙන්නේ ලංකාවෙ දිගම ගඟ වෙච්ච මහවැලි ගඟට. දකුණු පැත්තේ වහලට වැටෙන වැසි වතුර එකතු වෙන්නේ තවත් ප්‍රධාන ගංගාවක් වන කැළණි ගඟ වෙතට. එය ඉතා අපූරු පිහිටීමක්.

අවසාන වශයෙන් කීමට ඇත්තේ මේ සුන්දර නුවරඑළි‍ය පුරවරය ‍රැකගනීම සංචාරක ඔබගේත් වගකීමක් බවයි.  සුන්දර වුවත් තරමක් ක‍ටුක හා දුෂ්කර නගරයක් ලෙස මම නුවරඑළි‍ය දකිමි. රථවාහන නැවත්වීමේ පහසුකම් අල්ප අතර, නගරයේ කොතනක රථය නැවත්වුවත්  රු.50/-ක ටිකට්පතක් මිලටගත යුතුයි. සෑම දෙයකටම මිලක් නියමවන අතර නැරඹිය හැකි සෑමතැනකදීම ඔබට හා ඔබේ රථයට වෙන වෙනම ප්‍රවේශපත් මිලටගත යුතුය. නගරයේ පහසුකම් වැඩි කිරීමට අදාල බලධාරීන් මීට වඩා උනන්දුවියයුතුයැයි මට සිතේ. 

සැ.යු. - මෙහි එන සියලු ජායාරූප මා විසින් ලබාගත් ඒවා බවත් ඒවායේ අයිතිය මා සතුබවත් මතක් කරමි.

17 comments:

  1. excellent!!!!! :)

    ReplyDelete
  2. Thanks for the comment. :) Your comments are always encouraging me to write.

    ReplyDelete
  3. ඉතා වටිනා තොරතුරු සමුහයක් හැමෝම එක්ක බෙදාගත්තාට බොහොම ස්තුතියි

    ReplyDelete
  4. @Econo Designer, අදහස් දැක්වුවට ස්තූතියි.

    ReplyDelete
  5. Wonderful work... How many days for this trip...?

    ReplyDelete
  6. Only 3 days. :) Thanks for the comment.

    ReplyDelete
  7. wow...ela ...https://www.facebook.com/I.Love.Nuwara.Eliya/

    ReplyDelete
  8. නියමයි මේ චාරිකා සටහන්. නුවර එළියේ යන්න ඉන්න අයට හුඟක් ප්‍රයෝජනවත් වේවි

    ReplyDelete
  9. කොළඹ සිට එන අයට අවිස්සාවේල්ල , රත්නපුර, බලන්ගොඩ හපුතලේ , බණ්ඩාරවෙල, වැලිමඩ හරහා හෝ හපුතලෙන් වැලිමඩ පාරේ(ඇඩිසම් යන පාරෙන්) බෙරලන්ද , කැප්පෙටිපොල හරහාත් නුවර ඔලියට යන්න පුළවන්.
    බොරලන්දෙන් ඔහිය මාරගයෙන් හෝටන් තැන්නට යන්නත් එතැනින් අඹේවෙලට යන්නත් පුලුවන්.
    සිත කඳුකරේ නියම රසය විඳගන්නත් , රටට එළවළු සපයන ගොවීන් මහපොලව එක්ක සටන් කරන දුෂකර ජීවිත දැකගන්නත් ඔබත් මේ අතුරු මාර්ග වලින් උඩරට එන්න. අපේ ලස්සන රටේ සුන්දරත්වය දැක ගන්න....

    " ඔබ ගෙනෙන දැ අතර ඉවත දමන කිසිවක් බිම නොදමන්න. නගරයක කම් කසළ බඳුන් අත්නම් ඒවට පමනක් දමන්න. හෝටන් තැන්නේ හෝ වෙනත් ඔනම තැනකදී කසළ බැහැර නොකරන්න . ඒවා නැවත ඔබගේ වාහනයෙන් රැගෙන ගොස් මිනිසුන්ටද , ගහකොල සතුන්ටද හානි නොවන පරිදි බැහැර කරන්න.

    අපි අපේ යුතුකම ඉටු කරමු.

    ReplyDelete
  10. හරිම වටින ඡායාරූප ටික පරිස්සන් කරලා තියාගන්න. අර ඈඩිශනම් බන්ගලාවට යන පාර කාගෙන්ද අහගත්තෙ .


    ReplyDelete
  11. ඇත්තටම හරි වටින උපදෙස් ටිකක් තමයි මචං උඹ දීල තියෙන්නෙ අපි කාටත් මේක වටිනව ට්‍රිප් එකක් යනකොට නැත්නම් නිකං කාලේ කන්න වෙනව විතරයි. ගොඩා...........ක් ස්තුතියි
    මම ප්‍රසන්න ගාල්ලෙ

    ReplyDelete
  12. නුවරඑළියේ දැරිය හැකි මිලකට ඇති නවාතැන් පහසුකම් පිළිබඳවත් පෝස්ට් එකක් මගින් දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා.

    ReplyDelete
  13. නුවරඑළිය මේ ඔක්කොම තැන් බලන්න 12 දෙනෙකුට වගේ නවතින්න තැනක් කියන්න පුලුවන්ද? ගාන අඩු තැනක්?

    ReplyDelete
  14. අපිත් නුවර එළිය යන්න සුදානම, ‍මෙම ලිපිය දකින්න ලැබීම ලොකු සතුටක්. ස්තුතියි ඔබ තුමාට.



    ReplyDelete
  15. අපිත් නුවර එළිය යන්න සුදානම, ‍මෙම ලිපිය දකින්න ලැබීම ලොකු සතුටක්. ස්තුතියි ඔබ තුමාට.



    ReplyDelete
  16. දැන් නම් හැටන් පාර හොදට හදලා තියෙන්නේ..හැටන් ඉදන් අවිස්සාවේල්ලට නම් පාර ටිකක් පටුයි...ලිපියට බොහොම ස්තුතියි..

    ReplyDelete