Friday, May 17, 2013

ලොව කුඩාම දූපත් රාජ්‍යය සොයා යමු!

ආයුබෝවන්! ගොඩක් දවසකින් ලිපියක් ලියන්න බැරිවුන එකට මුලින්ම සමාව ඉල්ලනවා.
කලින් දවසක අයිස්ලන්තය ගැන ලිපියක් ලිව්වා ඔයගොල්ලන්ට මතක ඇති. අද මම ලියන්න හදන්නෙ ලෝක සිතියමේ වැඩි දෙනෙක්ගෙ අවධානය යොමු නොවුනු කුඩා රාජ්‍යයක් ගැන. ඒ තමයි Nauru. ශබ්ද කරන්නේ "නහූරු" කියල. මේ රටේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේක ලෝකයේ තනි දූපතක් විදියට තියෙන කුඩාම රට වීම. විශාලත්වය වර්ග කි.මී. 21 ක්. මෙය වර්ග කි. මී. 65,610 ක් වූ ලංකාව සමඟ සසඳන විට ඉතා කුඩා දූපතක්.
නහූරු දූපත ලෝක සිතියමේ තියෙන්නෙ මෙන්න මෙතන...
මේ තියෙන්නෙ නහූරු දූපතේ සිතියම. ඒකෙ ඉහල වම් කෙලවරේ තියෙන නහූරු ධජය දිහා බලන්න. ඒ ධජයේ තුඩු 12කින් යුත් සුදු පාට තරුවක් පේනවා ඇති. එම තුඩු 12න් කියැවෙන්නේ අතීතයේ පටන් නහූරු රාජ්‍යයේ වාසය කරන ගෝත්‍ර වර්ග 12ක්. තරුවෙන් පෙන්නුම් කරන්නේ ඉහල සිට බැලූ විට රට පිහිටන ආකාරය. එහි නිල පාට පසුබිමෙන් පැසි‍ෆික් සාගරයත්, කහ පැහැති රේඛාවෙන් සමකයත් නිරූපණය වෙනවා. සමකයට ආසන්නයෙන් පිහිටීම නිසා නහූරු දූපතත් සැලකෙන්නේ ලංකාව වගේම උෂ්ණාධික රටක් විදියට.
දස දහසකට ආසන්න ජනතාවක් වාසය කරන නහූරු දූපත පරිපාලන දිස්ත්‍රික්ක 14කින් සමන්විතයි. රටේ පරිපාලනය කේන්ද්‍රගතව පවතින්නේ 'යැරන්' දිස්ත්‍රික්කයේ. ඔවුන් භාවිතා කරන මුදල් ඒකකය 'ඕස්ට්‍රේලියානු ඩොලර්'. නහූරු වැසියන්ගේ මව් භාෂාව නහූරුයන් (Nauruan). ඔවුන්ට ඉංග්‍රීසි භාෂාවත් හොඳින් හසුරුවන්න පුලුවන්. ඔවුන්ගේ වේලාව ලංකාවේ වේලාවෙන් බොහෝ වෙනස්. ඔවුන් සිටින්නේ අපිට වඩා පැය 5 1/2 ක් පමණ ඉදිරියෙන්.මේ මොහොත වන විට නහූරු දූපතේ වේලාව,

නහූරු කියන්නෙ පෝසත් රටක්ද?
ඈතකාලයේ නහූරු දූපතේ ආර්ථිකය රඳාපැවතුනේ පොස්පේට් මත. නමුත් වර්ථමානය වනවිට මේ පොස්පේට් නිධි බොහෝ දුරට ක්ෂය වෙලා ගිහින් තියෙන නිසා ඔවුන් ආර්ථික වශයෙන් ඉන්නෙ ගොඩක් පහල මට්ටමක.
පහත ජායාරූපයේ දැක්වෙන්නේ අතහැර දැමූ පොස්පේට් නිධියක්.












සංචාරකයින්ට නැරඹීමට බොහෝ දේ මේ කුඩා දූපත තුල නෑ. නමුත්, ඔවුන්ට ඉතා සරුසාර මුහුදු තීරයක් නම් තියෙනවා. පහත ඡායාරූප ඊට සාක්ෂි සපයනවා.
රටේ දේශපාලනික ඉතිහාසය ගැන කියනවා නම්,
19 වන සියවස වන විට ජර්මනියේ යටත් විජිතයක්ව පැවති නහූරු දූපත පළමු ලෝක යුද්ධය හමාර වන විට ඕස්ට්‍රේලියා, නවසීලන්ත, එක්සත් රාජධානිය යන රටවල පාලනයට නතු වෙනවා. නැවතත් දෙවන ලෝක යුද්ධයේදී ජපානය විසින් යටත් කර ගන්නා මෙය දෙවන ලෝක යුද්ධය නිමවන විට එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් ලෙස නම් කෙරෙනවා. පසුව 1968 ජනවාරි 31 වන දින ඔවුන් පූර්ණ නිදහස ලබනවා.

නහූරු දූපත ගැන කියපු මේ විස්තරය ඔබේ සාමාන්‍ය දැනුමට ගොඩක් උදව් වෙයි කියල හිතෙනවා. එහෙනම් ආපහු හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්. සුභ දවසක්!
read more "ලොව කුඩාම දූපත් රාජ්‍යය සොයා යමු!"