Saturday, September 3, 2016

උඩවලවේ සවාරියක්

කෙටි නිවාඩුවකදී සංචාරය කරන්න තැනක් සොයන හිතවතුන්ට අපූරු අදහසක් අරගෙනයි මම අද ආවෙ. මෙවර මම ඔබව ‍රැගෙන යන්නේ උඩවලව ප්‍රදේශයට. උඩවලව කිව්වම හැමෝටම මතක් වෙන්නෙ සෆාරි. ඒ හැරෙන්නට උඩවලව හා ඒ අවට නැරඹිය හැකි ස්ථාන තැන් මොනවාද? විමසා බලන්නට යමු මාත් එක්ක.



රත්නපුර සිට කි.මී. 23ක් පමණ A4 මාර්ගයේ ගමන් ගන්නා ඔබට පැල්මඩුල්ල නගරය හමුවෙනවා. එතැනින් A18 මාර්ගයට පිවිසෙන ඔබ තවත් කි.මී 13ක් ඇවෑමෙන් මාදම්පේ නගරයට පිවිසෙනවා.
එතැන් සිට ඔබේ ගමන් මඟත් උඩවලව ආසන්නයේ නැරඹිය හැකි ස්ථානත් මේ සිතියමේ දක්වා තියෙනවා.




අපේ පලවෙනි ඉලක්කය උනේ සංඛපාල විහාරය වැඳපුදා ගැනීම. මාදම්පේ සිට සංඛපාල විහාරයට ඇත්තේ කි. මී 25ක පමණ දුරක්. විහාරයට කි. මී. 2කට පමණ පෙරාතුව මෙන්න මේ පුස්සදේව සොහොන දක්නට ලැබුනා.

කවුද මේ පුස්සදේව?

දු‍ටුගැමුණු රජුගේ දසමහා යෝදයන් ගැන ඔබ අසා ඇති. ඔවුන් අතුරින් දුනු ශිල්පයේ සහ හක් පිඹීමේ කෙලපැමිණි යෝදයෙක් හිටියා. ඔහු තමයි පුස්සදේව. එළාර රජු සමඟ පැවති යුධ ජයෙන් උද්දාමයට පත්ව සිටි දු‍ටුගැමුණු රජතුමා දසමහා යෝදයන්ට වරදාන පිරිනමනවා. ඒ අනුව පුස්සදේවට පල්ලෙබැද්ද ගම්වරය හිමිවුනා. ඔහු විසින් එහි සංඛපාල විහාරය කරවල තියෙනවා. සංඛපාල විහාරයේදී මගේ කැමරාව ක්‍රියාත්මක උනේ මෙහෙමයි.




තට්‍ටු ආකාරයෙන් කඳු ගැටයක ඉදිකර තියෙන මනරම් විහාරයක්! මෙහි ගිය මට සිහි වුනේ මාලිගාතැන්න සහ ඇඹුල්ගම රජමහා විහාර. එළාර-දු‍ටුගැමුණු යුධ ජය සැමරීමට පුස්සදේව යෝදයා විසින් දක්ශිණාවෘත හක්ගෙඩියක් (සංඛයක්) පිඹ තියෙනවා. මේ චෛත්‍යයේ එය නිදන් කර ඇතැයි ඉතිහාසඥයන් පවසනවා.
පසුකාලීනව බුද්ධ පුත්‍රයෙක් බවට පත්වුනු පුස්සදේව යෝදයා, රහත් භාවයට පැමිණි බව සඳහන් වෙනවා. මහාපරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල යන රජවරුන් යටතේ ප්‍රතිසංස්කරණය වුනු සංඛපාල විහාරය 1786 දී රාජාධිරාජසිංහ රජු විසින් කරතොට කීර්ති ශ්‍රී ධර්මාරාම හිමිට පූජා කර ඇති බවත් දැනගැනීමට ලැබුනා.
සංඛපාල විහාරය වැඳපුදා ගත් අපි ඊලඟට ගියේ උඩවලව අපේ නවාතැන්පලට. නවාතැන්පලවල් සහ සෆාරි ජීප් නම් උඩවලව ප්‍රදේශයේ අඩුවක් නැතුව තියෙනවා.

රු 3000/-ක් රු 5000/-ක් වැනි මුදලකට සෆාරි ජීප් රථයක් කුලියට ගන්න පුලුවන්. මේ එක ජීප් රථයක 8 දෙනෙකුට පමණ ගමන් කල හැකියි.
අපේ ඊලඟ ගමනාන්තය උනේ උඩවලව ඇත් අතුරුසෙවන. නිදහසේ සැරිසරන අලි පැටවුන් ‍රැකබලා ගැනීමට 1995 වසරේදී මෙය පිහිටවල තියෙනවා. 2015 දක්වා කාලය තුල අලි පැටවුන් 100ක් පමණ පුනරුත්ථාපනය කර කැළයට මුදා හැර තියෙන බව දැනගැනීමට ලැබුනා. ඒ වගේම දැනට අලි පැටවුන් 45ක් මෙහි ‍රැකවරණය ලබනවා. එක අලි පැටවෙක් රු415/-ක් වටිනා කිරි පැකට් 4ක් දවසට පානය කරනවලු. මෙය නරඹන ඔබට අලි පැටවුන්ගේ කිරි සඳහා දායකත්වය ලබාදෙන්නත් පුලුවන්.


උදේ 9, දවල් 12, හවස 3 වගේම හැන්දෑවේ 6 තමයි අලි පැටවුන්ට කිරිදෙන වේලාවන්.  මේ වේලාවලට තමයි මේකට ඇතුල්වෙන්න පුලුවන්. අලි ගැන වැඩිදුර තොරතුරු හැදෑරීමට අවශ්‍ය කෙනෙකුට තොරතුරු මධ්‍යස්ථානයකුත් මේකෙ පිහිටවල තියෙනවා. උඩ දකුණු කෙලවරේ ඡායාරූපයේ තියෙන්නෙ 'සඳගිරියා' ගේ ඇට සැකිල්ල. සඳගිරියා කියන්නෙ උඩවලව වනෝද්‍යාන මායිමේදී වෙඩිපහරට ලක්ව මියගිය දැවැන්ත හස්තියෙක්.
වවුල්පනේ ගුහා පිහිටල තියෙන්නෙත් උඩවලව ආසන්නයේ. (උඩ සිතියම බලන්න) අපේ නඩයේ කුඩා දරුවන් කීපදෙනෙක් සිටි නිසාත් කාලවේලාව ගැන ගැටලුවක් ඇතිවුන නිසාත් අපි එහි ගියේ නෑ.
අපි ආපසු ඒමට ‍තෝරාගත්තේ, ඇඹිලිපිටිය හරහා සූරියකන්ද -රක්වාන -මාදම්පේ පාර. (සිතියම බලන්න).
ඒ මඩුවන්වෙල වලව්වට ඔබ ගෙන යා යුතු නිසා. මඩුවන්වෙල වලව්ව පිහිටල තියෙන්නෙ කොලොන්න ප්‍රදේශයේ. එය එතරම් ජනාකීර්ණ නොවූ ගමක්. වලව්වේ පැය කීපයක් ගතකල යුතු නිසා දිවා ආහාරය ඇඹිලිපිටිය නගරයෙන් ‍රැගෙන යන ලෙස මම යෝජනා කරනවා. පීත්ත පටියක් සේ විහිදුනු කාපට් පාරක සුව පහසුව පැමිණි අපි කොලොන්න ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පැමිණියා. එතැන් සිට නම් පාර ඉතා අබලන් වී තිබුනා.

වික්‍රමසිංහ, සේනානායක, බණ්ඩාරනායක.. ආදී මෑතකාලීන ප්‍රභූ පරම්පරාවන් ගැන ඔබ අසා ඇති. වසර 300කට අධික අතීතයක් ඇති මඩුවන්වෙල පරම්පරාව ගැන දැන ගැනීම ඔබේ ඉතිහාස පිපාසාවට දියබිඳක් වනවා නොඅනුමානයි! මඩුවන්වෙල කතාව ඉතිහාසය ගැන දොල දුකක් ඇත්තන්ගේ හිරිගඩු පුප්පවනවා සත්තයි!
කුළු මී හරකුන් බහුලව සිටි වෙල යන අර්ථය ඇති "මඩුවන්වෙල" ප්‍රදේශයත් මඩුවන්වෙල වලව්වත් පිලිබඳ කතාව ක්‍රි.ව. 1700 පමණ ඈතට දිවයන්නක්. ඒ කාලයේ මේ ප්‍රදේශය හඳුන්වල තියෙන්නෙ "බල්ලන් දෑව හේන" නමින්. II වන විමලධර්මසූරිය රජු යටතේ මුලාදෑනිකම් කල මඩුවන්වෙල මුදලිවරයාට මේ ප්‍රදේශයේ අක්කර 1650ක් පමණ වූ ඉඩම් පවරල තියෙනවා. ඔහු තමයි මේ වලව්ව මුලින්ම කරවල තියෙන්නෙ. පසුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු යටතේ මඩුවන්වෙල මුදියන්සේත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු යටතේ මඩුවන්වෙල මොහොට්ටාලත්, රාජාධි රාජසිංහ රජු යටතේ මඩුවන්වෙල විජයසුන්දර මුදලිත්, අනතුරුව මඩුවන්වෙල කොඩිතුවක්කු නිලමේ, මඩුවන්වෙල විජයසුන්දර මුදියන්සේ යන අයත් මේ ප්‍රදේශය පාලනය කරමින් මේ වලව්වේ වැඩ වාසය කරල තියෙනවා. ඊටත් පසුව තමයි මඩුවන්වෙල පරපුරේ අවසන් පුරුක වුනු ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල මහ දිසාව මෙහි වාසය කරල තියෙන්නෙ. 1844 සැප්තැම්බර් 11 වනදා උපන් මඩුවන්වෙල මහදිසාව නොහොත් කලු කුමාරයා වසර 94ක් ආයු වළඳා 1938 සැප්තැම්බර් 6 වැනිදා මෙලොවින් සමුගෙන තියෙනවා. කතා කලා ඇති. වලව්වේ ඡායාරූප ටිකක් නරඹල ඉඳිමු.

කොර මැණිකේගේ සුසානය!

එක්නැලිගොඩ කුමාරිහාමි සමඟ විවාහ වුනු මහදිසාවේට දියණියක් සිටියා. "කොර මැණිකේ" නමින් හැඳින්වුනු ඇය ආබාධිත කාන්තාවක්. එක්නැලිගොඩ කුමාරිහාමිගේ හදිසි අභාවයත් සමඟ කලවානේ කුමාරිහාමි සමඟ විවාහ වුනු මහ දිසාවේට ඒ විවාහයෙන් දරුවන් සිටියේ නෑ. ඒත් සමඟ මඩුවන්වෙල පරම්පරාව සදහටම මිහිදන්වෙනවා. ඉහල වම් ඡායාරූපයේ තියෙන්නෙ මහදිසාවේගේත් ඇගේ දියණියගේත් සොහොන් කොත. පවුරු තුනකින් වටවී තිබුනු මඩුවන්වෙල වලව්වට ඇතුලුවන පළමු ගල් දොර (ගල් උලුවස්ස) තමයි ඉහල තනි ඡායාරූපයේ දැක්වෙන්නෙ. ඉහල මැද ඡායාරූපයේ දැක්වෙන්නේ 1877දී ඉදිකෙරුනු දෙවන දොර. ඒ ගැනත් අපූරු කතාවක් තියෙනවා. මේ දොර එතරම් උස නෑ. මිටි සිරුරකට හිමිකම් කී මහදිසාවේ මේ දොරෙන් පහසුවෙන් ඇතුල් වුනත් දිසාවේ හමුවෙන්නට එන සුදු ඒජන්තවරුන්ට නම් අසුපිටින් නොබැස දොරෙන් ඇතුල්විය නොහැකිවුනා. අසුපිටින් බැස එන සුදු ඒජන්තවරුන් දකින මහදිසාවේ එයින් අප්‍රමාණ සතුටක් ලැබූ බව සඳහන්. ඉහල දකුණු ඡායාරූපයේ ආකාරයට වලව්වේ බිම බොහෝ තැන්වල පිඟන් ක‍ටු අල්ලා තිබුනා. ඒ අතර රන් කාසි සහ මැණික්  පවා අල්ලා තිබූ බව කියවෙනවා. තවද මහ ‍රැජිනගේ රුව සහිත පිඟන් කැබලිත් තිබූ බව සඳහන්. මහ ‍රැජිනගේ රුව පෑගීමෙන් මහදිසාවේ සතුටක් ලැබූ බව සඳහන්වෙනවා.
20වන සියවසේ මුල් කාලයේ කරන ලද ගණනය කිරීම් අනුව මෙහි කාමර 121ක් සහ මැද මිදුල් 21ක් තිබිල තියෙනවා. නාන ගෙවල්, මහ බංගලාව, පුංචි බංගලාව, සයනාගාර, දික්ගෙය, ක්‍රීඩා කාමර, ශීත කාමර, ආයුධ ගබඩා, රට බීම ගබඩා, ධාන්‍ය ගබඩා, බුදු මැදුරු, නඩු ශාලා පමණක් නොව අප්පොලා අශුද්ධව සිටි කාමර (මාසික ඔසප් කාල වලදී උන් කාමර).. ආදී එකී මෙකී නොකී කාමර අතරින් අද වන විට 42ක් හා මැද මිදුල් 7ක් සංරක්ශණය කර තියෙනවා. මේ බොහෝ කාමර ඉතා කුඩා සහ අඳුරු ස්වභාවයක් උසුලනවා. නිසි පරිදි වාතාශය හෝ හිරු එලිය නොලැබෙන මේ කාමර තුලින් ආවේ දැඩි දුර්ගන්ධයක්. ඇතැම් කාමර සෝල්දරය උඩ එක කාමරයකුත් සෝල්දරය යට තවත් කාමරයකුත් වන පරිදි සකසා තිබුනා. මහ දිසාවේගේ අභාවයත් සමඟ වලව්වේ අයිතිය පැවරුනේ ඔහුගේ සහෝදරයාගේ පුතෙකු වූ සර් ෆැන්සිස් මොලමුරේ මහතාට. අනතුරුව එතුමාගේ දියණිය සීතා මොලමුරේ මහත්මියට හිමිවූ වලව්ව 1964දී රජයට පවරා ගත්තා. 1974 සිට මෙය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙනවා. නමුත් මෙය නිසි අධීක්ෂණයකට ලක් නොවන නිසාදෝ වලව්වත් අවට භූමියත් දඩාවතේ යන බල්ලන්ගේ රජ දහනක් වී තියෙනවා. මඩුවන්වල වලව්ව උදෑසන 8 සිට සවස 4.45 දක්වා නරඹන්නන්ට විවෘතව තිබෙන බව මතක් කල යුතුයි.
මඩුවන්වෙල වලව්වට සමුදුන් අපි සූරියකන්ද දක්වා ගමන් කරා. එතැනින් A17 පාර ඔස්සේ රක්වාන දක්වා යන ඔබට හමුවෙන්නේ ඉතා සුන්දර පරිසරයක්. සුප්‍රසිද්ධ වංගු 10 හමුවෙන්නේ මේ මාර්ගයේදීයි. සමුගන්නට අවසරයි! වංගු 10 අවට ඡායාරූප කිහිපයක් දකිමින්ම සමුගනිමු. තවත් රසබර ලිපියක් තුලින් ලඟදීම හමුවෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.

1 comment: